Tuesday, May 31, 2022

දයාබර පතොක් ගස ,


වැසි නොමැති  ඉඩෝරෙක

සැඩ හිරුරැස් පහර ලද 

ඉරි තැලුණ මිදුල මැද

සුන්දරම මලක් පිබිදුවේ කොහොමද 



තියුණු කටු තිබුණත්

ඔබට ඇත්තේ මෘදුම ඇතුලක් 

අඟුරු වුණ බිමකත් 

පෙනේ මදහස නඟන අයුරක්



ජීවිතේ කතරක් 

මැදින් ඇති රළු බොරලු පාරක්

පූදන්න එහි මලින් පොකුරක් 

වෙන්න ආසයි පතොක් පඳුරක්



Monday, November 19, 2018

රූපයක් වී.......හිඳිනු මැන

මගේ තෙලිතුඩු අගේ දැවටුණු
රූපයම වීලා හිඳිනු මැන
දෙනෙත් අග වේදනා ගෙනදී
නෙත් මානයට නම් නොඑනු මැන

ඈත නුබ ගැබ නීල තරුවක 
වෙසින් හිඳ සිනහා නගනු මැන
ගිඟුම් හඬ දී කඩා වැටෙනා
තරකාවක් නම් නොවනු මැන

උදා තුරුපත් මතින් ගලනා
සියොත් ගීයක් වෙලා ඉනු මැන
තලා හද මල මිලින කරනා
විරහ ගීයක පද නොවනු මැන

තණ පතක් අග දිලෙන පිණිවන්
මගේ හසරැල් නොහඳුනණු මැන
දැවෙන හිරු රැස් උරා මිහිමත
මිලින වන්නට ඉඩ හරිනු මැන

Sunday, August 5, 2018

නිහඬ සිතුවිල්ලක්

අතුල හිරු රැල්ල ක
නැඟුණු හසරැල්ල ක
රැඳුණු නෙත් බැල්ම ක
නැගෙන සිතුවිල්ල ක

නිහඬවම සිටියත් ඉකිගසන විට මා සිත
තද කරන් සිටියත්  දොරඟුලු අරියි හදවත
ගෙනෙයි පෙර දවසක ලැබුණු  පැතුමක් මා වෙත
නොහැක ගැලවෙන්න ට වෙලෙමි සිතුවිලි සුළඟ ක

කවුරුන්ද නොදැන ම බැඳුණු  වග එක් හදකට
දනිමි මම හොඳටම එ හද  මා නොහැඳිණි බව
කිසිත් කම් නැත එය කිමද ඒ වග හැඳිණුව
ගියත් යළි නාවද දුකක් නැත හද තුටු සිනා මිස

නොදුටුවත් ඒ රුව නෙත් නැමැති හීසර
හදවතේ පින්සල නඟා ඇත සිතුවමකට
දකිමි ඒ සිතුවම එබෙන විට හද ඇතුළට
පතමි ඒ රුව වෙත සිනා මිස කඳුළක් නොවන්නට

නෙළා ගත් පසු මල නැතේ ඒ හැඩ ලස්සන
ගසේ පිපිලා මල සුවඳ දෙනයුර බලමි නෙත් හැර.......

Sunday, July 29, 2018

මනු ගුණ අපෙ වනන්තරේ

නෙත රසදුනැති ඉදුනිල් සිදු රැළින් වට
දසතම පතළ පෙරදිග මුතු ඇටය පිට
මනු ගුණ කියන්නට ඇරයුම් ලද කලට 
කෙලෙසින් උවම් දෙන් දැයි අරුමයකි මට

සෙනෙහෙන් බරව හදවත දොර පලුව හැර
හද නැගි සිනා නෙතගින් නිති පහළ කර
බව දුක නසාලන්නට නිති දැරුව වෙර 
පෙර මෙහි සැබෑ මිනිසුන් විසුවෝය වර

මව්පිය සොයුරු නෑදෑ ගුරු මිතුරු තම
මහගුම සම්පතැයි සලකා රකිති හැම 
නොතිබිණි ඉඩක් මිළ මුදලට එදා මෙම 
රන් බිම දනෝ ඇදහූයේ මිනිස්කම

සතවෙත සොයුරු පෙම රදවා සිත මත්තේ
මිනිසුන් වෙසුණි නොකිළිටි දෑතක් ඇත්තේ
සාමය දහම රැජයූ හැටි ලක මත්තේ  
පොතකට පමණි දැන් සීමා වී ඇත්තේ 

දිවි රග මඩල මත වෙස් රූ පැළදගෙන 
පෙර වූ සරල දිවි මාවත අහුරගෙන 
දින දින මිනිස්කම වෙත සොහොනක් බදින 
නොමිනිස් කැළක් වෙති ලක්වැසි නම රැගෙන 

ඉසුරින් පිරි අතට දෑතම දිගු කරනා 
වැහැරුණු දෙයත් පා දුහුවිලි ලෙස සිතනා
මුවගින් සිනාසී හද දොරගුලු වසනා ඇවිදින මළකදන් අද ලක් බිම  වෙසෙනා 


නසමින් සතුන් දිවි ,සිද තුරුපතර වනේ 
කිමදැයි මව් රටට ඔබ මේ කරන විනේ 
නොඇසෙන විලස මහිලාවන් අසන පැනේ
අද ,ගොලු ,බිහිරි ලෙස හැසිරෙන අයුරු පෙනේ 

දැක දැක අකටයුතුකම් අද ලෙස ඉන්න 
මිනිසුනි මදක් ඔබ සිත මෙහි යොදවන්න
වියළුණ හද ට ඔබෙ උණු රුධිරය ගන්න 
නැතිනම් රටක් නැතිවෙයි අපහට ඉන්න